තවත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඌරුමලේ වෙරළ තීරයේ අද (2022 අප්‍රේල් 18) උදෑසන සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 50ග්‍රෑම් 380ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත්, ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනය මඟින් මන්නාරම ඌරුමලේ වෙරළ තීරයේ අද (2022 අප්‍රේල් 18) උදෑසන සිදුකළ මුර සංචාරයකදී වෙරළ තීරයේ තිබූ සැකකටයුතු ගෝනි උරයක් පරීක්‍ෂාවට ලක් කරන ලද අතර, එහිදී එම ගෝනි උරය තුළ පාර්සල් 14ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 50 ග්‍රෑම් 380ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

නාවික හමුදා මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන යාමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මෙම කේරළ ගංජා සහිත ගෝනි උරය වෙරළ තීරයේ අතහැර දමා පලා යන්නට ඇතැයි විශ්වාස කරන අතර, මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 15කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙලෙස නාවික හමුදා භාරයටගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදා භාරයේ රඳවා තබා ඇත.