මසුන් ඇල්ලීම සඳහා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය, සල්ලිමුනෙයි වෙරළ තීරයේ 2022 අප්‍රේල් මස 23 වන දින සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, නීති විරෝධී ලෙස වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය කොටස් 08ක්, විදුලි නොවන ඩෙටනේටර් 7ක් සහ අගල් 2.5 බැගින් වූ වෙඩිනූල් 07ක් ලඟතබා ගත් සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනය මඟින් ත්‍රිකුණාමලය සල්ලිමුනෙයි වෙරළ තීරයේ 2022 අප්‍රේල් මස 23 වන දින සිදු කළ මෙම විශේෂ පාමුර සංචාරයේදී, සැකකටයුතු ප්‍රද්ගලයෙකු පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී එම පුද්ගලයා සතුව තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය කොටස් 08ක්, විදුලි නොවන ඩෙටනේටර් 07ක් සහ අගල් 2.5 බැඟීන් වූ වෙඩිනූල් 07ක් සමඟ එම සැකකරු මෙලෙස නාවික හමුදා භාරයට ගත් අතර, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති වි‍රෝධී මත්ස්‍ය කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම සකස් කරන ලද පුපුරණ ද්‍රව්‍ය කොටස් මෙලෙස ළඟ තබා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ.

තවද, ධීවර ප්‍රජාවගෙන් ඉතා සීමිත පිරිසක් විසින් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති වි‍රෝධී මත්ස්‍ය කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදු වන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් සිදු කරනු ලබයි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 17ක් වන ත්‍රිකුණාමලය, කුච්චවේලී ප්‍රදේශයේ පදිංචිකරුකු බවට හදුනාගන්නා ලද අතර, අදාල සැකකරු, පුපුරණ ද්‍රව්‍ය, විදුලි නොවන ඩෙටනේටර් සහ වෙඩි නූල් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කුච්චවේලී පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.