නීති විරෝධී ධීවර කටයුතු සඳහා සැකසූ පුපුරණ ද්‍රව්‍ය කොටස් සමඟ පුද්ගලයන් 04ක් යාපනය ගුරු නගර් හිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ 2022 මැයි මස 05 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීම සඳහා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය කොටස් 07ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ධීවර ප්‍රජාවගෙන් ඉතා සීමිත පිරිසක් විසින් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති වි‍රෝධී ධිවර කටයුතු හේතුවෙන් සාගරයේ ජෛව විවිධත්වයට විශාල හානියක් සිදුවන අතර, එම හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් විසින් යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ2022 මැයි මස 05 වන දින සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කරන ලදී. එහිදී, එම ඩිංගි යාත්‍රාවේ තිබී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීම සඳහා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය කොටස් 07ක්, විදුලි නොවන ඩෙටනේටර් 08ක්, කිමිදුම් උපකරණ කිහිපයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 42ත් අතර වයසේ පසුවන යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, සකස් කළ පුපුරණ ද්‍රව්‍ය කොටස්, විදුලි නොවන ඩෙටනේටර්, කිමිදුම් උපකරණ සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2022 මැයි මස 01 දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනය මඟින් ද, ත්‍රිකුණාමලය, ජමාලියා වෙරළ තීරයේ සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ තීරයේ අතහැර දමන ලද ධීවර ආම්පන්න සමඟ සඟවා තිබූ වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 10ක් සහ සේවා නූල් දෙකක් (02) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදා භාරයේ තබා ඇත.

තවද, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.