හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව 2022 මැයි මස 05 වන දින ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 240කට ආසන්න තොගයක් සමඟ විදේශීය සැකකරුවන් 07දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහය ඇතිව ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ සති තුනකට (03) ආසන්න කාලයක් ආවේක්‍ෂණය කරමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, ගොඩබිම සිට නාවික සැතපුම් 630 ක පමණ (කිලෝ මීටර 1166ක් පමණ) දුරින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ධජ හිමි රාජ්‍ය අනාවරණය නොකළ සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාවක් ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව මඟින් නිරීක්‍ෂණය කරන ලදී.

එහිදී, සයුරළ නෞකාව මඟින් මෙම සැකකටයුතු යාත්‍රාව පරික්‍ෂා කිරිම සඳහා නැවැත්වීමට අණකළ ද එම අණනොතකා යාත්‍රාව පලා යාමට උත්සහ කිරීමේ දී එම සැකකටයුතු යාත්‍රාවේ ඉදිරි ගමන් මාර්ගය ඉලක්ක කරමින් සයුරළ නෞකාව මඟින් අවවාදාත්මක වෙඩි තැබීමක් සිදු කරන ලදී. ඒ සඳහා ද ප්‍රතිචාර නොදක්වා පරික්‍ෂා කිරිමට ප්‍රතිරෝධය පාමින් හා අනතුරුදායක ලෙස යාත්‍රාව හසුරවමින් තව දුරටත් පලා යාමට උත්සහ කළ සැකකටයුතු යාත්‍රාව සයුරළ නෞකාව මඟින් හඹා ගොස් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ අතර, එම මෙහෙයුමේදී පරික්‍ෂා කිරීම මගහැර පලා යාම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරවමින් ආවේගශීලී ලෙස හැසිරීම හේතුවෙන් සැකකටයුතු යාත්‍රාව සයුරළ නෞකාවේ ගැටී එම යාත්‍රාවේ බඳ කොටසට අලාභහානි විය. අනතුරුව, එම යාත්‍රාවට ගොඩ වී නාවික හමුදාව විසින් සිදු කළ පරික්‍ෂාවේදි එහි සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර 08ක් තුළ පාර්සල් 220ක අසුරන ලද හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 240කට ආසන්න ප්‍රමාණයක් සමඟ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනෙකු සහ එම යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ අතර, අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය වර්ගය හා ප්‍රමාණය පිළිබඳ නිවැරදි තොරතුරු මෙම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට රැගෙන ඒමෙන් පසු සිදු කරනු ලබන පරික්‍ෂා කිරීම් මඟින් තහවුරු කර ගැනීමට නියමිතව ඇත.

නාවික හමුදා භාරයටගත් යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් සිටින අතරතුර, එම යාත්‍රාවට සිදුව තිබූ අලාභහානිය හේතුවෙන් එතුලට ජලය කාන්දු වී, 2022 මැයි මස 07 වන දින එම යාත්‍රාව මුහුදුබත් වූ අතර, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා නිරුපද්‍රිතව සයුරළ නෞකාව මඟින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවති.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදවනු ලබන ධිවර යාත්‍රාවන් වෙත ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය හුවමාරු කර ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා මෙම මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදේ ස්ථානගතකර තැබීමට ජාවාරම් කරුවන් විසින් සැළසුම්කරන්නට ඇතැයි සැකකරන අතර, මෙ‍ම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 4800කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද විදේශ ජාතික සැකකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර, මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සහ ඉදිරි නීතිමය කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතය.

තවද, පසු ගිය 2022 අප්‍රේල් මස 12 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ මෙවැනිම වූ විශේෂ මෙහෙයුමකදී, මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 330 ග්‍රෑම් 532 ක පමණ තොගයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 818 පමණ තොගයක් රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් සමඟ එම ජාවාරමට සම්බන්ධ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක්, ත්‍රී රෝද රථයක් සහ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන ලදී.