අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කිරීමට අද උදෑසන (2022 ජුනි 01) වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

කළු සහ ගිං යන ගංඟා ද්‍රෝණීන්හි ධාරා ප්‍රදේශ වෙත අධික වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් එම ගංඟාවන්ගේ ජල මට්ටම රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්ගේ ඇතැම් ප්‍රදේශවල පිටාර මට්ටමට පැමිණ ඇති අතර, එමඟින් පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මෙලෙස ස්ථානගත කරන ලදී. ඒ අනුව, බටහිර නාවික විධානය මඟින් කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ, බඳුරලිය, බුලත්සිංහල සහ පැලවත්ත යන ප්‍රදේශ වෙතද, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නගරය, දෙල්ගොඩ, අයගම සහ මුවගම ප්‍රදේශ වෙත ද, දකුණු නාවික විධානය මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, හිනිදුම, නාගොඩ සහ මාපලගම යන ප්‍රදේශ වෙතද වශයෙන් සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කිරීම සිදු කෙරිණි.

තවද, කළුතර පරගොඩ හා කුඩලිගම ප්‍රදේශයේ සහ ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ඇතිව ඇති සුළු ජල ගැලීම් තත්වය හමුවේ නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසැල් ළමුන් ඇතුළු ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට අද උදෑසන සිට (2022 ජුනි 01) අවශ්‍ය සහන සලසමින් සිටියි.

එමෙන්ම, ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා බටහිර නාවික විධානයේ සහන කණ්ඩායම් 25ක් ද, දකුණු නාවික විධානයේ සහන කණ්ඩායම් 05ක් සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 10ක් ද සූදානමින් තබා ඇත.