අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 38 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට ගිනිකොන මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 11 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 38 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 ජුනි මස 11 වන දින දහවල් කාලයේ අම්පාර ඔකඳ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ද (06) ඇතුළුව පිරිමි පුද්ගලයන් 26ක්, කාත්තාවන් 05ක් හා ළමුන් 07 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එමෙන්ම එහිදි සිදුකරන ලද වැඩිදුර පරික්‍ෂාවේදී නාවික හමුදා භාරයට ගත් එම බහුදින ධීවර යාත්‍රාවෙහි එන්ජිමෙහි කාර්මික දෝෂයක් පවතින බවද නිරීක්‍ෂණයවූ අතර, එම යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්වයේ පවතින බවද අණාවරනය විය.

තවද, වයස අවුරුදු 02ත් 60ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, යාපනය, වව්නියාව, වාලච්චේන, හලාවත, කල්පිටිය, උඩප්පුව, ජාඇල සහ මීගමුව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා පානම පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

අහිංසක මිනිසුන් රවටා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි. එමෙන්ම මෙවැනි අනවසර සංක්‍රමණිකයන් සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් කිසිදු අනුග්‍රහයක් හිමි නොවන අතර, ඔවුන් අත් අඩංගුවට ගෙන වහාම නැවතත් මෙරටට පිටුවහල් කරනු ලබයි. ඒ අනුව, එලෙස නීති විරෝධීව මුහුදු මඟින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය විමට උත්සාහ කළ ශ්‍රීලාංකිකයන් 12 දෙනෙකුගෙන් හා 15 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායම් දෙකක් අත් අඩංගුවට ගැනීමෙන් පසු නැවතත් ගුවන් මඟින් මෙරටට පිටුවහල් කිරීමට ඕස්ට්‍රේලියානු රජය පසුගිය මැයි මස 24 වන දින හා ජුනි මස 09 වන දින කටයුතු කරනු ලැබීය. එමෙන්ම එලෙස පිටුවහල් කරනු ලබන නීති විරෝධී සංක්‍රමණිකයන් හට පසුව නීත්‍යානුකූල ලෙස එරටට සංක්‍රමණය වීමේ අවස්ථාවද අහිමි විය හැක.

එමෙන්ම, මෙවැනි මිනිස් ජාවාරම් සඳහා පැරණි හා දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්වයේ බහුදින ධීවර යාත්‍රා යොදාගන්නා බවට දිගින් දිගටම නිරීක්‍ෂණය වන බැවින්, එවැනි යාත්‍රා මඟින් නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කිරීමෙන් තම ජීවිත විශාල අවදානමකටද ලක්විය හැකි බවත් නාවික හමුදාව මහජනතාව වෙත අනතුරු අඟවා සිටියි.