නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 64 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (2022 ජුනි මස 15) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 64 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව,නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අයත් පි 484 යාත්‍රාව අද (2022 ජුනි මස 15) අලුයම ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හත් දෙනෙකු (07) ඇතුළුව පිරිමි පුද්ගලයන් 50ක්, කාත්තාවන් 11ක්, ළමුන් 03ක් සමඟ වයස අවුරුදු 02 ත් 55ත් අතර වයසේ පසුවන 64දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව අත්අඩංගුවට ගත් මෙම පිරිස, ත්‍රිකුණාමලය, මුලතිව් සහ යාපනය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතය.

තවද, ජාවාරම් කරුවන්ගේ කූට උපක්‍රම වලට හසුවී, නීති විරෝධී සහ ඉතා අවධානම් සහගත ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර නිතිය හමුවේ වරදකරුවන් විමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි. එසේම, මෙම ජාවාරම සඳහා ජාවරම් කරුවන් විසින් දීර්ඝ මුහුදු ගමනට යෝග්‍ය නොවන ධීවර යාත්‍රා යොදාගන්නා බවට නිරීක්‍ෂණය වන අතර, එම යාත්‍රා මඟින් නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කිරීමෙන් ඉතා ඉහළ ජීවිත අවදානමකටද ලක්විය හැකි බව නාවික හමුදාව අනතුරු අඟවා සිටී.