අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 47 ක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 27 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව 2022 ජුනි මස 27 වන දින රාත්‍රියේ මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නීරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ද (05) ඇතුළුව වැඩිහිටි පිරිමි පුද්ගලයන් 34 ක්, වැඩිහිටි කාත්තාවන් 06ක් සහ ළමුන් 07 ක් එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, වයස අවුරුදු 01 ත් 50 ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වෙන්නප්පුව, නාත්තන්ඩිය, හලාවත සහ මඩකලපුව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ව්‍යාජ තොරතුරු පවසා ජාවාරම්කරුවන් විසින් අනාරක්‍ෂිත යාත්‍රා යොදාගනිමින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර තම ජීවිත විශාල අවදානමකට ලක්කර ගැනීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි. එමෙන්ම මෙවැනි අනවසර සංක්‍රමණිකයන් සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් කිසිදු අනුග්‍රහයක් හිමි නොවන අතර, ඔවුන් අත් අඩංගුවට ගෙන වහාම නැවතත් මෙරටට පිටුවහල් කරනු ලබන බැවින්, ඉදිරියේදී නීත්‍යනුකූලව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අවස්ථාවද ඔවුන්ට අහිමි වනු ඇත.