අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 51 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද අළුයම (2022 ජුලි 03) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 51 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අනවසර සංක්‍රමණ ඇතුළු මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව නැගෙහිර නාවික විධානය විසින් අද අළුයම (2022 ජුලි 03) ත්‍රිකුණාමලයට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ද (06) ඇතුළුව පිරිමි පුද්ගලයන් 41 ක්, කාත්තාවන් 05ක් සහ ළමුන් 05 ක් එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයස අවුරුදු 05 ත් 56 ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, යාපනය, වව්නියාව, ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, ගම්පහ සහ රත්නපුර යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

මීට අමතරව, 2022 ජුලි මස 02 වන දින උදෑසන ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව මාරවිල ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී එම ප්‍රදේශයේ ළැගුම්හලක සැකසහිත ලෙස රැඳී සිටි නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටින් සංක්‍රමණය වීමට සුදානම්ව සිටි බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයන් 08 ක්, කාන්තාවන් 06 ක් සහ ළමුන් 10 ක් ඇතුළු 24 දෙනෙකු සමඟ ඔවුන් රැඳී සිටි ළැඟුම්හලෙහි හිමිකරු අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අනුව, මඩකලපුව, වාලච්චේන සහ හලාවත, යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද මාස 03 ත් අවුරුදු 50ත් අතර වයස් වල පසුවූ එම පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා මාරවිල පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ව්‍යාජ තොරතුරු පවසා ජාවාරම්කරුවන් විසින් අනාරක්‍ෂිත යාත්‍රා යොදාගනිමින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර තම ජීවිත විශාල අවදානමකට ලක්කර ගැනීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.