රුපියල් මිලියන 33 ක පමණ දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් ‍මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම වැලිපර ආශ්‍රිතව සහ ඌරුමලේ වෙරළ තීරයේ අද (2022 ජුලි 10) සහ 2022 ජුලි මස 09 වන දින සිදුකළ මුර සංචාරයන්හීදී කේරළ ගංජා කිලෝ 113 ග්‍රෑම් 280 ක පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝණ හා මැරීන් බලඝණ කණ්ඩායමක් මඟින් මන්නාරම වැලිපර ආශ්‍රිතව සහ ඌරුමලේ වෙරළ තීරයේ අද (2022 ජුලි 10) සිදුකළ මුර සංචාරයන් හීදී, වැලිපර අශ්‍රිත වෙරළ තීරයට ගොඩගසන ලද පාර්සල් 24 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 105 ක (තෙත බර සහිත) පමණ තොගයක් සහ ඌරුමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ කිලෝ ග්‍රෑම් 04 ක් (තෙත බර සහිත) පමණ බරැති කේරළ ගංජා අඩංගු පාර්සලයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මීට අමතරව, 2022 ජුලි මස 09 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රාවක් මඟින් මන්නාරම වැලිපර ආශ්‍රිතව සිදුකල මුර සංචාරයකදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කිලෝ 04 ග්‍රෑම් 280 ක පමණ බරකින් (තෙත බර සහිත) යුත් කේරළ ගංජා අඩංගු පාර්සලයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් සිදුකරනු ලබන මුර සංචාර හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මෙම කේරළ ගංජා මෙලෙස අතහැරදමා යන්නට ඇතැයි සැකකෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 33 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.