රුපියල් මිලියන 67 කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, තේවම්පිඩ්ඩි වෙරළ තීරයේ සහ වැලිපර ආශ්‍රිතව අද (2022 ජුලි 11) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 225 කට අධික තොගයක් සහ සැකකරුවෙක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මගින් මන්නාරම, තේවම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළ තීරයට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කරන ලදී. එහිදී, එම ඩිංගි යාත්‍රාව තුළ ධීවර දැළකින් සූක්‍ෂමව සඟවා පාර්සල් 99ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 203 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මීට අමතරව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණ කණ්ඩායමක් විසින් මන්නාරම වැලිපර ආශ්‍රිතව අද (2022 ජුලි 11) සිදුකළ මුර සංචාරයකදී, එම වෙරළ තීරයට ගොඩගසන ලද පාර්සල් 05 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 22 ග්‍රෑම් 140 ක (තෙත බර සහිත) පමණ ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 67 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මුලංකාවිල් ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස 45ක් වන තේවම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු, කේරල ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිසිය වෙත භාරදීමට නියමිතය. එමෙන්ම මන්නාරම වැලිපර ආශ්‍රිත ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් කේරල ගංජා ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.