නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට ලක්ව සිටි 55 ක් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව මඟින් බේරාගැනේ

හම්බන්තොට සිට නාවික සැතපුම් 390 ක් පමණ (කිලෝමීටර් 722 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී සුළි කුණාටුවකට හසුවී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක ජීවිත අවදානමට ලක්ව සිටි නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන පුද්ගලයන් 55 ක් 2022 ජූලි මස 10 වන දින නිරුපද්‍රිතව මුදවාගැනීමට නාවික හමුදාව කටයුතු කල අතර, එම පිරිස අද (2022 ජුලි 12) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන එන ලදි.

ඒ අනුව, ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පාවෙමින් තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය සහන සලසන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් 2022 ජූලි මස 08 වන දින නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදුකරන ලදි. එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව ආපදාවට පත් ධීවර යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශය වෙත සෙවීම් සහ මුදවාගැනීමේ මෙහෙයුමක් සඳහා පිටත් කරන ලදී.

ඒ අනුව, 2022 ජූලි මස 10 වන දින උදෑසන පරාක්‍රමබාහු නෞකාව ආපදාවට පත් ධීවර යාත්‍රාව වෙත ලඟා වී එම බහුදින ධීවර යාත්‍රාව පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී එම ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පැවති අධීක රළු ස්වභාවය හමුවේ ඉතා අවදානම් ලෙස පාවෙමින් තිබූ බහුදින ධීවර යාත්‍රාව තුල ජීවිත අවදානමට ලක්ව සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහා කල බවට සැකකෙරෙන ජාවාරම්කරුවන් 05 දෙනෙකුද සමඟ පිරිමි පුද්ගලයන් 46 ක් කාන්තාවන් 03 ක් සහ ළමයින් 06 ක් ඇතුළු පුද්ගලයන් 55 ක් නිරුපද්‍රිතව බේරාගැනීමෙන් අනතුරුව, වහාම ගොඩබිමට ගෙන ඒම‍ට කටයුතු කෙරිණි.

තවද, සිදුකල වැඩිදුර පරික්‍ෂාවේදී මෙම අනවසර සංක්‍රමණය සඳහා යොදාගත් ධීවර යාත්‍රාව ගැඹුරු මුහුදේදී කුණාටුවකට හසුවී ඇති බවත්, මුහුදේ පැවති අධික රළු ස්වභාවය හමුවේ යාත්‍රාවේ බ‍ඳට සිදුවූ අලාභහානි හේතුවෙන් මුහුදු ජලය යාත්‍රාව තුලට කාන්දුවී යාත්‍රාව ගිලීයාමේ අවදානමට ලක්ව තිබූ බවත් නිරීක්‍ෂණය විය. එමෙන්ම, දින කිහිපයක් ගැඹුරු මුහුදේ අතරමංව ආහාර සහ ජලය හිඟවීමෙන් එහි සිටි පුද්ගලයන් කිහිපදෙනෙක් නාවික හමුදාව විසින් මුදවා ගන්නා අවස්ථාව වන විට අසාධ්‍ය තත්වයෙන් පසුවූ බවත් නිරීක්‍ෂණය විය. ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වෙත පරාක්‍රමබාහු නෞකාව තුලදී අවශ්‍ය ප්‍රථමාධාර හා අනෙකුත් පහසුකම් ලබාදෙමින් මෙලෙස හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලද අතර, ආපදාවට ලක්වූ බහුදින ධීවර යාත්‍රාව තුලට අධික ලෙස මුහුදු ජලය කාන්දු වීම හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව අතහැර දැමීමට ක‍ටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 03 ත් 54 ත් අතර වයසේ පසුවන මෙම පිරිස ත්‍රීකුණාමලය, මන්නාරම, වව්නියාව, කිලිනොචිචිය, මුලතිව්, යාපනය සහ කල්පිටිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, මිනිස් ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත හා අබලන් තත්වයේ බහුදින ධීවර යාත්‍රා යොදාගනිමින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී තම ජීවිත විශාල අවදානමකට ලක්කර ගනිමින් නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.