උතුරු මුහුදේදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා 2022 ජුලි මස 18 වන දින නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී, කච්චතිව් දූපත අසල මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක (තෙත බර සහිතව) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පී 412 වේග ප්‍රහාරක යාත්‍රාව යොදවා මෙරට මුහුදු සීමාව තුලට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පළවා හැරීම සඳහා 2022 ජුලි මස 18 වන දින සිදුකල මෙම විශේෂ මෙහෙයුමේදී, කච්චතිව් දූපත අසල පාවෙමින් තිබූ පාර්සල් 09 ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක (තෙත බර සහිත) පමණ ප්‍රමාණයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා මෙලෙස අතහැර දමන්නට ඇතැයි සැකකෙරෙන අතර, මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 9 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.