නීති විරෝධි ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල රුපියල් මිලියන 09 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සමඟ සැකකරුවන් 03 ක් පේසාලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පේසාලේ, කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 ජූලි මස 25 වන දින රාත්‍රී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රත්‍රං ග්‍රෑම් 470 ක පමණ ප්‍රමාණයක් සහ වාලම්පූරියක් නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැක කෙරෙන පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් ඇතුළු නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ තීරය සහ මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රි ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අයත් වෙරළබඩ මුර යාත්‍රා යොදවා ‍මන්නාරම, පේසාලේ කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 ජූලි මස 25 වන දින රාත්‍රීයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කුරුසපාඩු වෙරළ තීරයෙන් පිටත්වූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කරන ලදී. එහිදී නීති විරෝධී ලෙස මෙ‍රටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැක කෙරෙන රත්‍රං ග්‍රෑම් 470 ක පමණ ප්‍රමාණයක් සහ වාලම්පුරියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

නාවික හමුදා භාරයට ගත් රත්‍රං ප්‍රමාණයේ වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන නවයකට (09) අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 හා 39 අතර පසුවන පුත්තලම සහ පේසාලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, රත්‍රං, වාලම්පුරිය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.