අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කර ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ අත්අඩංගුවට පත් 46 ක් දිවයිනට රැගෙන එයි

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කර, පසුගිය 2022 ජූලි මස 21දින ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවේදී, ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකිකයින් 46 ක් දිවයිනට රැගෙන ආ ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායට අයත් ඕෂන් ශීල්ඩ් (Australian Border Force Cutter Ship - Ocean Shield) නෞකාව අද (2022 අගෝස්තු 05) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

මුහුදු මාර්ග ඔස්සේ අනවසරයෙන් විදෙස් රටවල් වෙත සිදු කෙරෙන මිනිස් ජාවාරම් මැඩ පැවැත්විම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දියානු සාගර කලාපය භාවිත කරනු ලබන අනෙකුත් පාර්ශ්වකරුවන් හා එක්ව සාගර කලාපය ආවේක්ෂණය කරමින් නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකුගෙන් යුත් පිරිසක් 2022 ජූලි මස 21 දින ඕස්ට්‍රේලියානු දේශ සීමාවේදි, ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ අත්අඩංගුවට පත්ව ඇති අතර, එම පිරිස රැගත් ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ ඕෂන් ශීල්ඩ් නෞකාව අද උදෑසන මෙලෙස කොළඹ වරායට සේන්දු විය. තවද, ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් එම බලකායට අයත් නෞකාවකින් නැවත දිවයිනට රැගෙන ආ ප්‍රථම අවස්ථාවද මෙය විය.

2022 ජූලි මස 06 වන දින මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයෙන් බහුදින ධීවර යාත්‍රාවක් මඟින් පිටත්ව ගොස්, නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කර ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකාය විසින් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ මෙම පිරිස වයස අවුරුදු 17ත් 49ත් අතර වයසේ පසුවන වාලච්චේන, මඩකලපුව, පාසිකුඩා, අම්පාර, බිබිල සහ මුතූර් යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකාය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් කොළඹ වරායේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

තවද, මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම, ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ දකුණු ආසියානු කලාපය භාර අධ්‍යක්ෂ, කොමාණ්ඩර් ක්‍රිෂ් වෝටර්ස් (Chris Waters) විසින් සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් සිදු කරන ලදි.

එහිදී, ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ දකුණු ආසියානු කලාපය භාර අධ්‍යක්ෂ විසින් ප්‍රකාශ කර සිටියේ, නීති වීරෝධී මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගීත්වය ඉතා අගය කරන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු, අද දින (2022 අගෝස්තු 05) මෙරටට රැගෙන ආ පිරිස ද ඇතුළුව 2022 මැයි මාසයේ සිට මේ දක්වා නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයන් 183 දෙනෙකු නැවත හරවා එවා ඇති බවත්, 2013 ඔක්තෝබර් මස සිට ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් ඇතුළු වීම සම්පූර්ණයෙන් නවතා ඇති බැවින්, එලෙස නීති විරෝධී ලෙස ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් රැගත් සෑම බෝට්ටුවක්ම නැවත හරවා එවීමට පියවර ගත් බවත් පවසන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඔස්ට්‍රේලියාවේ බලයට පත් නව රජය මඟින් නීති විරෝධී සංක්‍රමණික කටයුතු සඳහා කිසිදු අනුග්‍රහයක්‍ නොලැබෙන බව සහ ඕස්ට්‍රේලියාව වෙත නීති විරෝධී ලෙස සංක්‍රමණය වන්නන් සම්බන්ධයෙන් අනුගමනය කරන එරට ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවයි.

මෙහිදි අදහස් දැක්වු බටහිර නාවික විධානයේ ආඥාපති විසින් ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක බලකාය හා සහයෝගීත්වයෙන් කටයුතු කරමින් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සිදු කෙරෙන මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීමට පියවර ගන්නා බැවින්, ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට කිසිදු ඉඩක් නොමැති බවයි. එමෙන්ම, මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස මහජනතාව වෙත අවධාරණය කරමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, නීති විරෝධි ලෙස මෙරටින් සංක්‍රමණය විම සම්පුර්ණයෙන් මැඩපැවැත්විමටත්, ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම සහ නැවත මෙරටට ගෙන්වා ගැනිමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අවශ්‍ය පියවර ගන්නා බවයි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 වර්ෂයේ මේ දක්වා (2022 අගෝස්තු 05) සිදු කල අනවසර සංක්‍රමණ මැඩ පැවැත්විමේ මෙහෙයුම් මඟින් මෙරටින් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටවල් වෙත සංක්‍රමණය විමට උත්සාහ කල 1024 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත. එමෙන්ම 2022 වර්ෂයේ මේ දක්වා (2022 අගෝස්තු 05) නීති විරෝධීව මුහුදු මඟින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය විමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 183 දෙනෙකු ඕස්ට්‍රේලියානු දේශ සීමා බළකා‍ය විසින් අත්අඩංගුවට ගෙන නැවත ශ්‍රි ලංකාවට පිටුවහල් කර ඇත.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස වැඩබාර ගැනීමට නියමිත පෝල් ස්ටීවන්ස් මහතා(Paul Stephens), ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.