නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 13 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද උදෑසන (2022 අගෝස්තු 05) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත මැරීන් බලඝණයේ කණ්ඩායමක් විසින් අද (2022 අගෝස්තු 05) උදෑසන තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, වැලිපරයක සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයින් පිරිසක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට යාත්‍රාවක් පැමිණෙන තෙක් එම වැලිපරයෙහි රැඳී සිටි බවට සැක කෙරෙන, වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් තිදෙනෙක් (03), කාත්තාවන් සිව් දෙනෙක් (04) සහ වයස අවුරුදු 18 ට අඩු හය දෙනෙකු (06) ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම සෝදිසි මෙහෙයුමේදි නාවික හමුදා භාරයට ගත් පිරිස වව්නියාව, ත්‍රිකුණාමලය සහ මොරවැව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛමන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදා ගනිමින් සංවිධානය කරනු ලබන මිනිස් ජාවාරම් වලට හසුවී, නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.