නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන 44 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව, වලෙයිතෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 44 ක්, 2022 අගෝස්තු 28 දින රාත්‍රියේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය මඟින් එම විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අයත් පි 465 සහ පී 4443 යන වේග ප්‍රහාරක යාත්‍රාවන් යොදවා 2022 අගෝස්තු මස 28 වන දින රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

එම විශේෂ මෙහෙයුමේදී, පි 465 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු (05) ඇතුළුව වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 25 ක්, කාත්තාවන් 02 ක් සහ වයස අවුරුදු 18 ට අඩු දෙදෙනෙක් (02) ඇතුළුව පුද්ගලයන් 29 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඉහත පි 465 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවට ගොඩබිම සිට පුද්ගලයන් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් ද නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය මඟින්, 2022 අගෝස්තු මස 28 වන දින රාත්‍රී කාලයේ කුච්චවේලී වෙරළ ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයමුකදී නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මීට අමතරව, එම මුහුදු ප්‍රදේශයේදීම පී 4443 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් තවත් සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබු වෙනත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 05 ක් සමඟ එම බහුදින ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, පී 4443 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවන් මඟින් නීති විරෝධි ලෙස මෙරටින් සංක්‍රමණය වීමට සූදානමින් සිටි බවට සැක කෙරෙන, ලංකාපටුන වාලන්තෝට්ටම් වෙරළ ප්‍රදේශයේ රැඳී සිටි වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රි ලංකා ‍නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින් 2022 අගෝස්තු මස 28 වන දින රාත්‍රී කාලයේ, ලංකාපටුන වලෙයිතෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයමුකදී නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදාව භාරයට ගත් පුද්ගලයන් පිරිස ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, හම්බන්තොට, වාලච්චේන, කල්මුනේ, අක්කරෛපත්තු සහ කුච්චවේලි යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හඳුනා ගන්නා ලදි.

තවද, පී 465 සහ පී 4443 වේග ප්‍රහාරක යාත්‍රා මඟින් නාවික හමුදා භාරයට පුද්ගලයන් තිස් හතර දෙනා (34) ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙතත්, ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් දෙදෙනා (02) කුච්චවේලී පොලිසිය වෙතත් භාරදීමට නියමිතව ඇත. එමෙන්ම, ශ්‍රි ලංකා ‍නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් දස දෙනා (10) ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, ඊච්චලම්පත්තු පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙ‍රිණි.

තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදාගනිමින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදනාමට පත්වීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.