නාවික හමුදාව මඟින් දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ.

බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ඔක්තෝබර් මස 25, 26, 27 සහ 28 යන දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි.

තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය බද්දේගම, දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟීන් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබයි.

ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ සහ ක්ෂණික මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ බලඝණයේ නාවිකයින් කණ්ඩායමක්, වාරිමාර්ග දෙපාර්ථමේන්තුවේ නිලධාරින්ද සමඟ එක්ව එම පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කරන ලද අතර, එමඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගං වතුර අවධානම වැළැක්වීමට හැකි විය.