නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව එක්ව උතුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී රුපියල් මිලියන 137 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ අද (2022 නොවැම්බර් 09) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 458 කට අධික තොගයක් (තෙ‍ත බර සහිත) රැගත් ඩිංගී යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් සීජී 402 දරණ වෙරළාරක්‍ෂක යාත්‍රාව යොදවා යාපනය ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසී මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගී යාත්‍රවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, පාර්සල් 18 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 458 ග්‍රෑම් 900 ක පමණ තොගයක් (තෙ‍ත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 137 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02) අවුරුදු 37 සහ 44 යන වයසේ පසුවන මණ්ඩතිව් සහ නච්චිකුඩා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, කේරල ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

එමෙන්ම, 2022 වර්ෂයේ මේ දක්වා නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 5479 කට අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දී ඇති අතර, එහි දළ වීථි වටිනාකම රු. මිලියන 1643 කට අධික වේ.