නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 2448 කට අධික තොගයක් මීගමුව, දූව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, දූව ප්‍රදේශයේ 2022 නොවැම්බර් මස 08 වන දින අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2448 කට අධික තොගයක් සමඟ ලොරි රථ දෙකක් (02) ක්, ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය මඟින් මීගමුව, දූව ප්‍රදේශයේ 2022 නොවැම්බර් මස 08 වන දින අළුයම සිදුකරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු ලෙස නවතා තිබූ ලොරි රථ 02 ක් නීරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී, එම ලොරි රථ තුල පාර්සල් හතලිස් අටක (48) අසුරා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1580 ග්‍රෑම් 940 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

අනතුරුව, මීගමුව, දූව කළපු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර පරික්‍ෂාවේදී එම කළපු ප්‍රදේශයේ ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ පාර්සල් 26 ක අසුරන ලද තවත් බීඩි කොළ කිලෝ 867 ග්‍රෑම් 200 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනිම‍ට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ක් සහ 41 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, ලොරි රථ 02, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ කිලෝ 2448 ග්‍රෑම් 140 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.