රුපියල් මිලියන 12 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කල්මු‍ණේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2022 නොවැම්බර් 14) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 41 කට අධික (තෙත බර සහිත) තොගයක් රැගත් ඩිංගී යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින්, යාපනය, කල්මු‍ණේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, පාර්සල් 19 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 41 ග්‍රෑම් 800 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 12 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 36 ක් වන සැකකරු (01) යාපනය මොණරපිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, එම සැකකරු, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුනරීන් පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.