රුපියල් මිලියන 07 කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ අද අළුයම (2022 නොවැම්බර් 22) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 24 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය විසින් අද අළුයම (2022 නොවැම්බර් 22) මන්නාරම, ඉලුප්පුකඩවායි පොලිසිය හා එක්ව සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ වෙල්ලන්කුලම මාර්ග බාධකයේ දී සැකකටයුතු ලොරි රථයක් පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී, එම ලොරි රථය තුල පාර්සල් දොළහක (12) අසුරා ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා කිලෝ 24 ග්‍රෑම් 200 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ලොරි රථය අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 07 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 37 ක් සහ 45 ක් වන වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් සැකරුවන්, කේරළ ගංජා තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.