නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව එක්ව 2022 නොවැම්බර් මස 28 වන දින සවස් කාලයේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් විසිහතර දෙනෙකු (24) යාපනය, කරෛයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මඟින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව මඟින් මෙරට මුහුදු තීරයේ මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2022 නොවැම්බර් මස 28 වන දින සවස් කාලයේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් යාත්‍රා සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රා යොදවා එම ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් සිදුකරන ලදී. එහිදී, යාපනය, කරෛයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් විසිහතර දෙනෙකු (24) සහ ධීවර ආම්පන්න මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙලෙස අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා පහ (05) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසිහතර දෙනා (24) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, මෙම විශේෂ මෙහෙයුමත් සමඟ නාවික හමුදාව 2022 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුලට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා 35 ක් සමඟ ඉන්දීය ධීවරයින් 252 ක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත භාරදී ඇත.

තවද, විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම සහ සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට සිදුවන හානිය මැඩපැවැත්වීම උදෙසා නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.