මෙරට මුහුදු සීමාව තුල ආපදාවට පත් මියන්මාර් ජාතිකයින් 104 ක් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය

මියන්මාරයේ සිට ඉන්දුනීසියාව දක්වා මියන්මාර් ජාතිකයින් 104 ක් ප්‍රවාහනය කරමින් තිබූ මගී ප්‍රවාහන යාත්‍රාවක් එහි ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්වී, වෙත්තලකේනි ප්‍රදේශයට නාවික සැතපුම් 3.5 ක් පමණ උතුරු දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයට 2022 දෙසැම්බර් මස 17 වන දින රාත්‍රියේ අනවසරයෙන් පැමිණ ඇති අතර, එම මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි මියන්මාර් ජාතිකයන් 104 ක් නිරුපද්‍රිතව මුදාගැනීමට අද (2022 දෙසැම්බර් 18) උදෑසන නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විදේශීකයන් පිරිසක් රැගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් ආපදාවට පත් වී ඇති බවට උතුරු නාවික විධාන මෙහෙයුම් මැදිරිය වෙත ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උදාර සහ එම නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පී 411 හා පී 497 යාත්‍රාවන් ආපදාවට පත් මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි මගීන් බේරාගැනීම සඳහා එම යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත 2022 දෙසැම්බර් මස 17 වන දින පිටත් කර යැවීමට කටයුතු කරන ලදි.

ඒ අනුව, මුහුදේ රළු ස්වභාවය හමුවේ මහත් පරිශ්‍රමයක් යොදා ආපදාවට පත් යාත්‍රාවෙන් නාවික හමුදාව මඟින් නිරුපද්‍රිතව මුදාගත් මියන්මාර් ජාතිකයින් 104 දෙනෙකු මේ වන විට කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් මානුෂීය ආධාර ලබාදීමට කටයුතු කරන ලද අතර, එම පිරිස ඉදිරි කටයුතු සඳහා අදාල පාර්ශ්වයන් වෙත යොමු කිරීමට නියමිතව ඇත.

තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, මුහුදේ දී ජීවිත ආරක්‍ෂාව පිළිබඳ 1974 ජාත්‍යන්තර සම්මුතිය (The International Convention for the Safety of Life at Sea 1974 – SOLAS) සහ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම පිළිබඳ 1979 ජාත්‍යන්තර සම්මුතිය (International Convention on Maritime Search and Rescue 1979) යන සම්මුතීන් වෙත දූපත් රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැදීමට අනුව, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සුදානමෙන් සිටී.