නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 989 කට අධික තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2023 ජනවාරි මස 19 වන දින රාත්‍රියේ යාපනය, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 989 ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් කටයුතු ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය මඟින් වෙරළ බඩ මුර යාත්‍රාවන් යොදවා 2023 ජනවාරි මස 19 වන දින රාත්‍රියේ යාපනය, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර 14 ක අසුරන ලද වියලි කහ කිලෝ 496 ග්‍රෑම් 054 ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගත් අතර, සැකකරුවන් විසින් මුහුදට දමන ලද කිලෝ 48 ග්‍රෑම් 030 ක පමණ බරින් යුත් (තෙත බර සහිත) වියළි කහ උරයක් ද (01) එහිදී, නාවික හමුදා භාරයට ගන්නා ලදි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණය විසින් 2023 ජනවාරි මස 19 වන දින රාත්‍රියේ යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කල තවත් සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලද අතර, එහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර 12 ක අසුරන ලද වියලි කහ කිලෝ 445 ග්‍රෑම් 800 ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ත් 51 ත් අතර, වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන් සිව්දෙනා (04), වියලි කහ කිලෝ 989 ග්‍රෑම් 884 ක (තෙත බර සහිත) තොගය සහ ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.