කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 54 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, නොරොච්චෝලේ ප්‍රදේශයේ සහ අනුරාධපුර නව නගරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 54 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) 2023 ජනවාරි මස 22 වන දින නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණයේ කණ්ඩායමක් විසින් 2023 ජනවාරි මස 22 වන දින රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නොරොච්චෝලේ, පූලච්චේන මංසන්දියේදී සැකකටයුතු ලොරි රථයක් පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී, එම ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් විසිපහක (25) අසුරන ලද කේරළ ගංජා කිලෝ 45 ග්‍රෑම් 280 ක පමණ තොගයක් සමඟ එම ලොරි රථය සහ සැකකරුවකු (01) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, උතුරු නාවික විධානයට ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය මඟින් උතුරු මැද සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව, අනුරාධපුර නව නගරයේ 2023 ජනවාරි මස 22 වන දින සිදුකල තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී අනුරාධපුර නව නගරයේදී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී, පාර්සල් හතරක (04) අසුරන ලද කේරළ ගංජා කිලෝ 08 ග්‍රෑම් 800 ක පමණ තොගයක් රැගෙන යමින් සිටි එම සැකකරු (01) සමඟ එම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම මෙහෙයුම් මඟින් නිතීයේ රැහැනට හසුකර දුන් කේරළ ගංජා කිලෝ 54 ග්‍රෑම් 80 ක තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 18 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නොරොච්චෝලේ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 49 ක් වන ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු, කේරළ ගංජා සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, අනුරාධපුර නව නගරයේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා උතුරු මැද සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.