නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් කොඩ්බේ ධීවර වරාය වෙත නිරුපද්‍රිතව ඇදගෙන ඒමට නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC - Colombo) සම්බන්ධීකරණයෙන්, සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 54 ක් පමණ (කිලෝ මීටර් 100 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධිවරයින් හය දෙනෙක් (06) සමඟ එම බහුදින ධිවර යාත්‍රාව නිරුපද්‍රිතව කොඩ්බේ ධීවර වරාය වෙත ඇදගෙන ඒමට අද දින (2023 මාර්තු 10) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ත්‍රීකුණාමලයෙන් 2023 මාර්තු මස 05 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද මෙරට බහු දින ධීවර යාත්‍රාවක් (උවිඳු පුතා 03 - ලියාපදිංචි අංක IMUL-A-0792 -TLE) ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 54 ක් පමණ (කිලෝ මීටර් 100 ක් පමණ) දුරින් ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී එම බහුදින ධීවර යාත්‍රාව තුළට මුහුදු ජලය කාන්දු වීමෙන් ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම යාත්‍රාව ආපදාවට පත්ව ඇති බවට, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ආපදා සහන ඉල්ලීමක් යොමු කර ඇත.

එම ඉල්ලීමට, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණධීර වේග ප්‍රහාරක නෞකාව ආපදාවට පත් යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන ලදි. ඒ අනුව, රණධිර නෞකාව මඟින් ආපදාවට පත් එම බහුදින ධීවර යාත්‍රාව, එහි සිටි ධීවරයින් හයදෙනා (06) සමඟ අද දින (2023 මාර්තු 10) මෙලෙස නිරුපද්‍රිතව ත්‍රිකුණාමලය, කොඩ්බේ ධීවර වරාය වෙත ඇදගෙන ඒමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ - සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් කලාපීය සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සමඟ සම්බන්ධීකරණය වෙමින්, මුහුදේදී ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.