නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය, නිලාවේලී ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 12 වන දින අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අයත් පී 4444 වේග ප්‍රහාරක යාත්‍රාව මගින්, 2023 මාර්තු මස 12 වන දින ත්‍රිකුණාමලය, නිලාවේලි ප්‍ර‍දේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට අනවසර සංක්‍රමණිකයන් රැගෙන යාමට සූදානම්ව සිටි බවට සැකපිට එම බහුදින ධීවර යාත්‍රාව, එහි සිටි සැකකරුවන් තිදෙනෙක් (03) සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් මෙම සැකකරුවන් වෙන්නප්පුව සහ ත්‍රීකුණාමලය, චීන වරාය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදි. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සහ බහුදින ධිවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට කටයුතු කල අතර, මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදාව හා පොලීසිය එක්ව සිදුකරනු ලබයි.