නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1128 කට අධික තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, මුක්කුතොඩුවාව වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු 13 වන දින රාත්‍රි කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1128 කට අධික තොගයක් රැගත් ලොරි රථයක් සමඟ සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනයේ උඩප්පුව නාවික අනුඛණ්ඩය මඟින් පුත්තලම, මුක්කුතොඩුවාව වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු මස 13 වන දින රාත්‍රි කාලයේ සිදුකරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ලොරි රථයක් (Freezer Truck) නීරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී එම ලොරි රථය තුළ නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා උර තිස් හයක (36) අසුරා තිබූ බීඩි කොළ කිලෝ 1128 ග්‍රෑම් 300 ක තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ ‍එම ලොරි රථය මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

එමෙන්ම, එම ලොරි රථයේ තිබී නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන උර විස්සක (20) අසුරන ලද කොත්තමල්ලි කිලෝග්‍රෑම් 503 ක් සහ උර හතරක (04) අසුරන ලද වියළි මිරිස් කිලෝ 99 ග්‍රෑම් 100 ක ප්‍රමාණයක්ද එහිදී නාවික හමුදා භාරයට ගන්නා ලදි.

තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු, ලොරි රථය, බීඩි කොළ තොගය, වියළි මිරිස් තොගය සහ කොත්තමල්ලි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.