විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 02 ක් මුලතිව් මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය හා එක්ව මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 16 වන දින රාත්‍රී කාලයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 මාර්තු මස 16 වන දින රාත්‍රී කාලයේදී නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික ‍නෞකා ගෝඨාභය ආයතනයට අයත් නයාරු නාවික අනුඛණ්ඩය සහ මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය එක්ව මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම පුද්ගලයින්, ධීවර ආම්පන්න සහ ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතීමය කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.