වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 58 ක් සමඟ සැකකරුවන් 02 ක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව ‍‍පොලිසිය හා එක්ව ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළ අසල ප්‍රදේශයේ 2023 මාර්තු මස 18 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් තිබූ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 58 ක් සහ ඩෙටනේටර් 100 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් පසුවෙමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන, ගෝකණ්ණ, පැරකුම්බා සහ නාවික තඨාකාංගණය යන ආයතනයන් එක්ව සිදුකල බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව ත්‍රිකුණාමලය පොලීසිය හා එක්ව 2023 මාර්තු මස 18 වන දින ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළ අසල ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී සැකකටයුතු ත්‍රීරෝද රථයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එම ත්‍රීරෝද රථය මඟින් නීති විරෝධී ලෙස එම ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 58 ක්, ඩෙටනේටර් 100 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟ එම ත්‍රීරෝද රථය මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී ලෙස පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සදහා යොදාගැනීමට මෙම වාණිජ පුපුරණද්‍රව්‍ය තොගය රැගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 34 ක් වන නිලාවේලී සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02), වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගය, ඩෙටනේටර් 100 සහ ත්‍රිරෝද රථය (01) ඉදිරි නිතීමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.