විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 05 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේ අද දින (2023 මාර්තු 21) අළුයම් කාලයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, අද දින (2023 මාර්තු 21) අළුයම් කාලයේදී උතුරු නාවික විධානයේ චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩයට අයත් මැරීන් බලඝණයේ කුඩා යාත්‍රා මඟින් සිදු කල විශේෂ මෙහෙයුමකදී, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 17 ත් 25 ත් අතර වයසේ පසුවන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම පුද්ගලයින් පස් දෙනා (05), ධීවර ආම්පන්න සහ ඩිංගි යාත්‍රා තුන (03) ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.