කැස්බෑ මස් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 මැයි 22) මන්නාරම සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජීවී කැස්බෑවන් දෙදෙනෙකු (02) ඇතුළුව කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වෙරළ කලාපය ඔස්සේ සිදුවන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වෙරළ කලාපය ආවරණය වන පරිදි ස්ථාපනය කරන ලද වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථාන මඟින්, වෙරළ තීරය ඔස්සේ සිදුවන නීති විරෝධී කටයුතු පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවෙයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයේ අරිප්පු වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය මඟින් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කැස්බෑවන් සිව් දෙනෙකු (04) මරා මස් පිණිස සකස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02), කැස්බෑ මස් කිලෝග්‍රෑම් 206 ක පමණ තොගයක්, ජීවී කැස්බෑවන් දෙදෙනෙකු (02) සහ කැස්බෑවන් ගොඩබිමට රැගෙන ඒමට භාවිතා කල බවට සැකකෙරෙන තෙප්පම් වර්ගයේ කුඩා යාත්‍රාවක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ක් සහ 37 ක් වන අරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් දෙදෙනා (02), ජීවී කැස්බෑවන් දෙදෙනා (02), කැස්බෑ මස් කිලෝග්‍රෑම් 206 ක පමණ තොගය සහ තෙප්පම් වර්ගයේ කුඩා යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම වනජීවි දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, වඳවි යන සත්ව විශේෂයක් වන මෙම කැස්බෑවන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇති අතර, එම ව්‍යාපෘතිය යටතේ සංරක්‍ෂණය කරනු ලබන කැස්බෑ බිත්තර මඟින් බිහිවන පැටවුන් ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීම මඟින් මෙන්ම, මෙවැනි මෙහෙයුම් මඟින්ද සාගරික ජෛව පරිසර පද්ධතිය සුරැකීම සඳහා නාවික හමුදාව සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබයි.