ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟෙහි වක්වැල්ල ප්‍රදේශයේ ඇති පටු පාලම තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, එලෙස සිදුකල තවත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් 2023 මැයි මස 19 සහ 22 යන දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි.

ගිං ග‍ඟෙහි ජල පෝෂක ප්‍රදේශ වෙත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගිං ග‍ඟේ ජල මට්ටම ඉහල යාමත් සමඟ ගංඟා ආශ්‍රිත ප්‍රදේශයට නොසැලකිලිමත් ලෙස බැහැර කරනු ලබන කැලි කසළ, කපා දමන ලද ගස් සහ උණ පඳුරු සැඩ ජල පහරට හසුව ගසාගෙන විත් මෙම පටු පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිරවීම හේතුවෙන් ගිං ගඟ දෙපස පහත් බිම් ජලයෙන් යටවී ක්‍රමයෙන් ගංවතුර තත්වයක් ඇතිවේ.

මේ සම්බන්ධයෙන් නිරන්තර අවදානයෙන් සිටින නාවික හමුදාව දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයට අනුයුක්ත කිමිදුම් අංශයේ සහ ක්‍ෂණික ප්‍රතිචාර මුදවා ගැනීම් සහන බලඝණයේ නාවික පුද්ගලයින් කණ්ඩායමක් යොදවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව සිරවූ එම අපද්‍රව්‍ය ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරිණි.