විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 16 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් නයාරු හා අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සහ පුල්‍මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු ප්‍රදේශයේ 2023 මැයි මස 22 වන දින අළුයම් කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන්, වලංගු බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 මැයි මස 22 වන දින අළුයම් කාලයේදී නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය අයතනය මඟින් මුලිතිව් නයාරු හා අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයන්හී නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහ දෙනෙකු (10) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2023 මැයි මස 22 වන දින අළුයම් කාලයේදී නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි අයතනය මඟින් පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයන්හී නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ වලංගු ධීවර බලපත්‍ර රහිතව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 44 ත් අතර වයසේ පසුවන පුත්තලම, කෝකිලායි, පදවි ශ්‍රී පුර, වැලිඔය සහ මදුරන්කුලිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනා ගත් අතර, එම පුද්ගලයින් දහසය දෙදෙනා (16), ඩිංගි යාත්‍රා හත (07) හා ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත සහ කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.