දකුණු මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ගාල්ලේ සිට නාවික සැතපුම් 460 ක් පමණ (කිලෝ මීටර් 851 ක් පමණ) ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව අද දින (2023 මැයි 26) කටයුතු කරන ලදී.

දික්ඕවිට ධීවර වරායෙන් 2023 මැයි මස 23 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Krevin Baba 01’ (ලියාපදිංචි අංක IMUL-A-0921 CHW) නැමැති බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු ගාල්ලේ සිට ශ්‍රී ලංකාවට නිරිත දෙසට වන්නට වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී හදිසියේ රෝගී තත්ත්වයට ලක්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදී.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගී තත්ත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට, දකුණු මුහුදු ප්‍රදේශයේ අවේක්‍ෂණ රාජකාරීන් සඳහා අනුයුක්ත කර තිබූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව රෝගී ධීවරයා සහිත බහුදින ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කරන ලදි. ඒ අනුව, පවත්නා රළු මුහුදු ස්වභාවය හමුවේ මහත් පරිශ්‍රමයක් යොදා 2023 මැයි මස 24 වන දින රෝගීවූ ධීවරයා ගාල්ලේ සිට නාවික සැතපුම් 460 ක් පමණ (කිලෝ මීටර් 851 ක් පමණ) ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී විජයබාහු නෞකාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, එම ධීවරයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් අද දින (2023 මැයි 26) ගාල්ල වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටී.