රුපියල් මිලියන 27 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය අනලතිව් දූපතේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය අනලතිව් දූපතේ 2023 නොවැම්බර් මස 10 වන දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හැට නවයකට (69) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය මඟින්, 2023 නොවැම්බර් මස 10 වන දින උදෑසන කාලයේ යාපනය අනලතිව් දූපතේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ සැකකටයුතු උරයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම උරය (01) තුළ පාර්සල් දහ අටක (18) අසුරන ලද කේරළ ගංජා කිලෝ හැට නවයයි (69) ග්‍රෑම් පහක (05) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන විසි හතකට (27) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදෙන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.