නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 3440 ක තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ඉලංතාඩිය වෙරළ ප්‍රදේශයේ අද දින (2024 මාර්තු 03) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන් දහස් හාරසීය හතළිහක (3440 Kg) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් අද දින (2024 මාර්තු 03) අළුයම කල්පිටිය, ඉලංතාඩිය වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම වෙරලතීරයේ තිබූ සැකකටයුතු පාර්සල් එකසිය එකොළහක (111) තොගයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී එම සැකකටයුතු පාර්සල් එකසිය එකොළහ (111) තුල අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් තුන් දහස් හාරසිය හතළිහක (3440 Kg) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු (01) සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.