නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 05 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ආච්චන්කුලම් ප්‍රදේශයේ අද දින (2024 අප්‍රේල් 04) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු බලපත් රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් පන්සිය අසූ නවයක (589) පමණ තොගයක්, යතුරු පැදි තුනක් (03) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, අද දින (2024 අප්‍රේල් 04) උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනයට අයත් ආච්චන්කුලම් නාවික අනුඛණ්ඩයේ කණ්ඩායමක්, මන්නාරම ආච්චන්කුලම් ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ මාර්ගයක ගමන් ගත් සැකකටයුතු ස්කූටි වර්ගයේ යතුරු පැදි තුනක් (03) පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, ප්ලාස්ටික් ඇසුරුම් තුළ බහාලා රැගෙන යමින් තිබූ මුහුදු කූඩැල්ලන් ගණනින් පන්සිය අසූ නවයක (589) පමණ තොගයක්, සැකකරුවන් පස්දෙනෙකු (05), කිමිදුම් උපකරණ සහ එම යතුරු පැදි තුන (03) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 60 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් පස් දෙනා (05), මුහුදු කූඩැල්ලන් තොගය, යතුරු පැදි තුන (03) සහ කිම්දුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා මුරුන්කන් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.