මාතර අප ස්වාමි දුවගේ ජාතික දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය


මාතර අප ස්වාමි දුවගේ ජාතික දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 සැප්තැම්බර් මස 06 වන දින සිට 08 වන දින දක්වා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විම සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

ඒ අනුව, දකුණු නාවික විධානය විසින් මෙම දේව මංගල්‍යයේ දේවමාතා ප්‍රතිමාව රැගත් පෙරහැර සාර්ථක කර ගැනිම සඳහා දායකත්වය සපයන ලද අතර, නාවික හමුදා සහභාගීත්වයෙන් අප ස්වාමි දුවගේ ප්‍රතිමාව රැගත් පෙරහැර මාතර දේවස්ථානය අවට වීථි සංචාරය කෙරිණි. මෙම අවස්ථාව සඳහා නාවික පුද්ගලයින් මෙන්ම දෙස් විදෙස් කිතුණු බැතිමතුන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

තවද, මෙම මංගල්‍ය සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාව විසින් දක්වනු ලැබූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ගාල්ල රදගරු අති උතුම් රේමන් වික්‍රමසිංහ පියතුමන්, දේවස්ථානය භාර පියතුමන් සහ පැමිණ සිටි බැතිමතුන් ආගමික සංහිඳියාව ඇතිකරලීම සඳහා නාවික හමුදාව සිදුකරණු ලබන දායකත්වය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසා කරන ලදී.