නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ජාතික අවශ්‍යතාවයට දායක වූ නාවිකයින් හට නාවික හමුදාපති විසින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය කෙරේ

පසුගිය සති දෙකක කාලය තුළ දී මන්නාරම මුහුදු සීමාවෙන් මෙරටට ගෙන ඒමට උත්සහ දැරූ නීති විරෝධී කේරළ ගංජා විශාල තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා දායක වූ නාවික පුද්ගලයින් හට ‍නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය කිරීම පූනෑව නාවික හමුදා කඳවුරේදී අද (ජූලි 19) දින සිදු විය. ‍නාවික හමුදාධිපතිතුමන් උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරතවූ අවස්ථාවේ දී මෙම ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය සිදු කෙරිණි.  

පැමිණ සිටි නිලධාරීන් හා නාවිකයින් ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ජාතික අවශ්‍යතාවයට ලබාදුන් දායකත්වය පිළිබඳව ඔවුනට සිය ප්‍රශංසාව පුදකරන බවත්, නිරතුරුවම අවධියෙන් සිටිමින් මෙම නීති විරෝධී ජාවාරම් මැඩළීමට සිදුකරන කැපකිරීම් නාවික හමුදාවට විශාල ගෞරවයක් බවත් දන්වා සිටි අතර, ඒ සඳහා ඉදිරි නාවික මෙහෙයුම් සිදුකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් දීර්ඝ වශයෙන් අවශ්‍ය උපදෙස් ලබාදුනි.

මෙම අවස්ථාවට උතුරු මැද නාවික පෙදෙසභාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන හා උතුරු මැද පලාතේ සේවය කරන නිලධාරීන් හා නාවිකයින් රැසක් ද එක්විය.