ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම වෙඩි තැබීමේ සමස්ථ ශූරතාවය ලබා ගනියි

කඳුරට වෙඩි තැබීමේ සංගමයට අයත් හන්තාන ‍වෙඩි පිටියේදී ජූලි මස 30 හා 31 යන දෙදින තුල පැවති වෙඩි තැබීමේ ශූරතා තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම සමත් විය. 2012/2013 වර්ෂවලදී ජාතික වෙඩි තැබීමේ සංගමයේ සභාපති ධූරය දරණ ලද, වත්මන් ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු තනතුර හොබවන රියර් අද්මිරාල් උදය බණ්ඩාර මහතා මෙහිදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සදහා පැවැත්වූ සම්මත තරග අවි අංශයේ ශූරතාවය දිනා ගන්නා ලදී.

විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් සහභාගී වූ  පිරිමි සහ කාන්තා කණ්ඩායම් 200 කට අධික ප්‍රමාණයක් අභිභවමින් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම මෙහිදී සමස්ථ ශූරතාවය ලබා ගන්නා ලදී. එම සමස්ථ ශූරතාවයට අමතරව විවෘත සහ නිෂ්පාදිත තරඟ අවි අංශයන්හි කාන්තා ශූරතාවයන් දිනා ගැනීමටද ඔවුන් සමත් විය. මෙහිදී සුළු නිලධාරී (කාන්තා) ඩබ්ජීඑස් ප්‍රියදර්ශනී සහ නායක නැවි (කාන්තා) ජීඑම් රේණුකා පිළිවෙලින් විවෘත සහ නිෂ්පාදිත තරඟ අවි අංශවල හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මාන ලබා ගන්නා ලදී. මීට අමතරව බළ සෙබළ ඊකේසීයූ කුමාර සහ ගුවන් විදුලි කාර්මික කේපීජීඩී ධනුෂ්ක පිළිවෙලින් ˝බියැංචි˝ අංශයේ විවෘත සහ සම්මත තරඟ අවි අංශවල හොඳම ක්‍රීඩකයාට හිමි සමිමාන ලබා ගන්නා ලදී.

මෙම තරඟාවලිය ජාතික වෙඩි තැබීමේ සංගමය හා එක්ව සංවිධානය කරන ලද්දේ කඳුරට වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයයි. මෙහිදී විවෘත, නිෂ්පාදිත තරඟ අවි සහ සම්මත තරඟ අවි යන අංශ 03 න්ම තරඟ පවත්වන ලදී. තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික වෙඩිතැබීමේ සංගමයේ සභාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සහභාගී විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව තුල ක්‍රීඩා කුසලතාවයන් ඔප්නැංවීම සඳහා  විශාල අනුග්‍රහක් ලබා දෙන වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය පවත්වාගෙන යනු ලබයි. වයිස් අද්මිරාල් විජේගුණරත්න මහතා දක්ෂ වෙඩික්කරුවෙකු වන අතර, ඔහු 2011/2012 යන වර්ෂයන්වල ජාතික වෙඩි තැබීමේ සංගමයේ සභාපති වශයෙන් කටයුතු කර ඇත. මෙම සංචිතයේ වත්මන් පුහුණුකාරිය වශයෙන් ඉනෝකා වීරසිංහ මහත්මිය කටයුතු කරන අතර, සංචිතයේ සභාපති ලෙස කපිතාන් රොහාන් දේවේන්ද්‍ර මහතා සහ ලේකම් ලෙස ලුතිනන් කොමාණ්ඩර් සුජිත් කුමාර මහතා කටයුතු කරනු ලබයි.