වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග පත් කෙරේ


ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග ජූලි මස 11 වන දින සිට පත් කර ඇති අතර, ඔහුගේ නව පත්වීමට අදාල ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද දින (06) නාවික හමුදා මූලස්ථානයේදී ලබාගත්තේය.

රියර් අද්මිරාල් විමලතුංග, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 12 වන බඳවා ගැනීමට අයත් කැඩෙට් නිලධාරියකු වශයෙන් 1984 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්වී ඇති අතර, ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් සිය මූලික පුහුණුව සම්පූර්ණ කර ඇත. ඉන්දියාවේදී ජලතරණය පිළිබඳව විශේෂ පුහුණුව ලබා ඇති ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධියත්, ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හිදී උපායමාර්ගික ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇත. පාකිස්ථානයේ ඉස්ලාමාබාද් ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ජාතික ආරක්ෂාව සහ යුද්ධෝපායන් පිළිබඳව විද්‍යාපති උපාධියත් ලබා ඇති ඔහු, ඇමරිකා එක්සත් ජනපදයෙන් ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැළැක්වීමේ සහයෝගිතා පාඨමාලාව ද සම්පූර්ණ කර ඇත.

රියර් අද්මිරාල් විමලතුංග තම සේවා කාලය තුළ විවිධ නෞකා සහ යාත්‍රා වලට අණදී ඇති අතර, නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම, වයඹ නාවික විධාන නියෝජ්‍ය ආඥාපති, උතුරු නාවික විධාන නියෝජ්‍ය ආඥාපති ඇතුළු තනතුරු රාශියක අත්දැකීම් ලබා ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. ‍ වත්මන් තනතුරට පත්වීමට පෙර ඔහු නාවික හමුදා මූලස්ථානයේ සැපයුම් කළමණාකරණ මැදිරියේ අධ්‍යක්ෂක වශයෙන් රාජකාරී කර ඇත.

ඔහුගේ විශිෂ්ඨ සේවය අගයමින් රණවික්‍රම පදක්කම, උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් හා පලඳනා රැසකින් පිදුම් ලබා ඇති අතර, ඔහු ගම්පහ ඇලපිටිවල කණිෂ්ඨ විද්‍යාලයේ සහ කොළඹ නාලන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.