ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ


සුහදතාවය වර්ධනය කර ගැනීම සහ සේවා ලබා ගැනීම සඳහා ජපන් නාවික හමුදාවට අයත් “ඉකසුචි” සහ “මුරසමෙ” යන නෞකා දෙක අද දින (07) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව මෙම නෞකාවන් පිළිගන්නා ලදී.

නෞකා මෙහෙයුම් ප්‍රධානී වශයෙන් කටයුතු කරන පලවෙනි පරිවාරක්ෂක බලසේනාවේ අණදෙන නිලධාරී කපිතාන් “අට්සුෂි නකසුජි”, “ඉකසුචි” නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් “කෂුහරු හොකසෝ‍නො” සහ “මුරසමෙ” නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් “කෙන්ජිල් ෆූජි” යන නිලධාරීන් බටහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු කේජී පෝල් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී හමුවිය.

ද්විපාර්ශ්වීය මිත්‍රත්වය හා සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් වැලිසර නාවික කඳවුරේදී ජපන් නැව් මුළුව හා ශ්‍රී ලංකා නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම අතර සුහද බේස්බෝල් තරඟයක් ද පැවැත්විණි.

මෙම නෞකාවන් හෙට (08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, ඊට ප්‍රථම එහි නෞකා මෙහෙයුම් ප්‍රධානී සහ නෞකා අණදෙන නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිතුමන් හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් හමුවීමට නියමිතය.