යහපත් රාජ්‍ය පරිපාලනය පිළිබඳ දේශනයක් නාවික හමුදා මූලස්ථානයේදී


˝මහජනයා රජය හා සම්බන්ධ වන්නේ රාජ්‍ය සේවකයාගෙනි˝. මහජන අවශ්‍යතා ඉටු කරළීම සඳහා ඔහුට සුවිසල් කාර්යභාරයක් පැවරේ. එහිදී රාජ්‍ය සේවකයන් හට පැවරෙන රාජකාරීන් හා වගකීම් මොනවාද යන්නත්, ඒවා නිසි ලෙස ඉටු කිරීමෙන් යහපත් රාජ්‍ය පරිපාලනයක් ඇති කල හැක්කේ කෙසේද යන්න පිළිබඳවත් ඉතා හරවත් දේශනයක් මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චූලානන්ද පෙරේරා මහතා විසින් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී අද (10) දින පැවැත්වීය.

නාවික හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ආරම්භ කෙරුණු මෙම දේශන මාලාව නාවික පුද්ගලයින්ගේ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම, ධනාත්මක චින්තනය වර්ධනය හා යහපත් ආකල්ප ඇතිකරලීමේ අරමුණින් සංවිධානය කෙරිණි. එම දේශන මාලාවේ පළමුවැන්න සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්,බටහිර නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයින් රැසක් ද සහභාගී විය.

අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු වශයෙන් කාර්යබහුල ජීවිතයක් ගතකරන චූලානන්ද පෙරේරා මහතා තම වටිනා කාලය කැපකරමින් සිදුකළ මෙම හරවත් දේශනය පිළිබඳව නාවික හමුදාධිපතිතුමන් සිය හෘදයාංගම ස්තූතිය පුද කළ අතර, එතුමන් වෙනුවෙන් විශේෂ තිළිණයක් ද එහිදී ප්‍රදානය කරන ලදී.