2015 ජාතික බර ඉසිලීමේ සමස්ථ ශූරතාවය නාවික හමුදාව දිනාගනී

2015 අගෝස්තු මස 11 සහ 12 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවති 2015 ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ පිරිමි අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා බර ඉසිලීමේ සංචිතයට හැකිවිය. නාවික හමුදාව ජාතික බර ඉසිලීමේ තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

තරඟාවලියට සහභාගී වූ දිවයිනේ ක්‍රීඩා සමාජ විශාල සංඛ්‍යාවක් හා යුද හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ක්‍රීඩා කණ්ඩායම් රැසක ක්‍රීඩකයින් අභිබවමින් සාමාන්‍ය නැවි චින්තන ගීතාල් විදානගේ තරඟාවලියේ හොඳම බර ඉසිලීමේ ක්‍රීඩකයාට හිමි කුසලානය දිනා ගැනීමට සමත් වූ අතර, නාවික හමුදා පිලට සමස්ථ ශූරතාවය හිමිකර ගැනීමට සුවිශේෂී දායකත්වයක් සපයමින් සාමාන්‍ය නැවි චින්තන ගීතාල් විදානගේ කිලෝ ග්‍රෑම් 77 බර පංතියේ ප්‍රථම ස්ථානයත්, බලනැවි කමල් එගොඩවත්ත කිලෝ ග්‍රෑම් 56 බර පංතියේ ප්‍රථම ස්ථානයත්, සාමාන්‍ය නැවි අරුණ ශාන්ත කිලෝ ග්‍රෑම් 105 ට වැඩි බර පංතියේ ප්‍රථම ස්ථානයත් දිනා ගන්නා ලදී.

තරඟාවලියේ කාන්තා අංශයේ සමස්ථ අනුශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කාන්තා කණ්ඩායමට හැකි වූ අතර, නව ශ්‍රී ලංකා වාර්ථා 03ක් පිහිටුවීමට කිලෝ ග්‍රෑම් 69 බර පංතිය යටතේ ක්‍රීඩා කළ සාමාන්‍ය කාන්තා නැවි චතුරිකා ප්‍රියන්ති සමත්විය. එහිදී කිලෝ ග්‍රෑම් 53 බර පංතියේ ප්‍රථම ස්ථානය සාමාන්‍ය කාන්තා නැවි චමරි වර්ණකුලසූරිය දිනා ගත්තාය.

තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් රුවන් චන්ද්‍රා මහතා සහභාගී වූ අතර, ජාතික බර ඉසිලීමේ සංගමයේ නිලධාරීන්, ක්‍රීඩා සංගම් වල නියෝජිතයින් හා ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.