222 වන බඳවාගැනීමට අයත් නාවිකයන් 387 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 222 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 387 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට විසිරයාමේ පෙළපාලිය පූනෑවේ පිහිටි ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී 2015 අ‌ගෝස්තු මස 15 වන දින පැවැත්විණි.
 
විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී වූ අතර, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ආඥාපති, කපිතාන් ප්‍රියන්ත පෙරේරා ඇතුලු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක්ද, ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද මෙම උත්සවයට සහභාගීවි සිටියහ.
 
ඉතා ආකර්ෂණීය සරඹ සංදර්ශණයකින් සමන්විත වූ මෙම විසිරයාමේ පෙළපාලියේදී තම මූලික පුහුණුව තුල විශේෂ කුසලතා පෙන්වන ලද  නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානෝත්සවයක්ද සිදු කෙරිණි. එහිදී 222 වන බඳවාගැනීමේ හොඳම නාවිකයා ‍ලෙස ආධුනික නැවි ජේඑම්කේජීඑල්ජී ගුණරත්න ත්‍යාග හිමිකරගත් අතර, ආධුනික නැවි ඊඑම්එන්එම් ඒකනායක හොඳම වෙඩික්කරුට හිමි ත්‍යාගයට හිමිකම් කීවේය. මෙයට අමතරව ආධුනික නැවි එල්ජීපී සඳරුවන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි සම්මානය හිමිකරගත් අතර, හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය ආධුනික නැවි ඩීඑච්කේඩීකේ සිරිසේන හට හිමිවිය.

විසිර යන නාවිකයින් ඇමතූ රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, වෘත්තීමය දැනුමෙන් හා තාක්ෂණයෙන් පිරිපුන් ශ්‍රී ලංකා නාවික හමුදාව වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදී උවදුරෙන් රට මුදා ගැනීම සඳහා වැදගත් මෙහෙයක් සිදු කල බව පැවසීය. මෙම දිනාගත් සාමයේ ප්‍රථිලාභ මතු පරපුරට ලබා දීම සඳහා රැක ගැනීම විසිර යන නාවිකයන්ගේ වගකීම බව සඳහන් කර සිටි ඔහු රට ජාතිය වෙනුවෙන් සේවය කිරීම සඳහා තම දරුවන් දායාදකල දෙමාපියන් නාවික හමුදාධිපති වෙනුවෙන් ගෞරවයෙන් සිහිපත් කරන ලදී.