කොළඹ අගරදගුරුතුමන් නව නාවික හමුදාධිපති හට ආශිර්වාද පතයි

නව නාවික හමුදාධිපති ධූරයේ පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා අද (24) කොළඹ අගරදගුරු නිල නිවසේදී, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් හමුවිය. මෙම අවස්ථාවට නාවික හමුදාධිපතිතුමන්ගේ බිරිඳ යමුනා විජේගුණරත්න මහත්මිය සහ ඔහුගේ පුත් සත්‍යජිත් විජේගුණරත්න මහතා ද සහභාගී විය.

එහිදී නාවික හමුදාධිපතිතුමන් හට කතෝලික සභාවේ සුභපැතුම් එක්කරන බවද, දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බවද අගරදගුරුතුමන් ප්‍රකාශ කර සිටියේය. ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා පොදු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අගරදගුරුතුමන් හා සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සංකේතවත් කරමින් අගරදගුරුතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රධානය කරන ලදී.