ඉන්දියානු වෙරළාරක්ෂක ˝වරහා˝ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා නාවික නෞකා ˝සාගර˝ ලෙස 2006 වසරේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාවිතා කරනු ලැබූ ඉන්දියානු වෙරළාරක්ෂක ˝වරහා˝ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹ වරාය මගී පර්යන්තයේ දී අද (27) දින නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙරිණි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතිගරු වයිකේ සින්හා මහතා සහභාගී වූ අතර, මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බීඑම්යූඩී බස්නායක මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් ද එක්ව සිටියහ.

මහකොමසාරිස් තුමා වෙනුවෙන් පිරිනමන ලද සම්මාන ආචාර මුරයකින් අනතුරුව එතුමා සහ අනෙකුත් ආරාධිත අමුත්තන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් නෞකාවේදී පිළිගන්නා ලදී. පැමිණ සිටි පිරිස ඇමතු නාවික හමුදාධිපතිතුමන් වසර දහස් ගණනක් පුරා නොවෙනස්ව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික සම්බන්ධතාවය පිළිබඳව අදහස් දැක්වීය. ඉන් අනතුරුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවයේ ශක්තිය සංකේතවත් කරමින් ආරක්ෂක ලේකම්තුමා හට නිල වශයෙන් නෞකාව ප්‍රදානය කළ මහකොමසාරිස් තුමා නෞකාවේ ඵලකය ද විවෘත කළේය.

ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන මෙම නෞකාව 1992 වර්ෂයේ ඉන්දියාවේ දී නිෂ්පාදනය කර ඇත. මීටර් 75ක දිගකින් හා මීටර් 11ක පළලකින් යුත් මෙය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාපිත කිරීම සඳහා කරනු ලැබූ දායකත්වය වෙනුවෙන් ඉන්දියානු රජය විසින් නිදහස් කල් බදු පදනම මත 2006 වසරේ දී ලබාදෙන ලදී.  අවසන් යුද සමයේ නාවික හමුදාව සිදුකළ මෙහෙයුම් රැසක්ම සාර්ථක කර ගැනීමට දායක වී ඇති ˝සාගර˝ නෞකාව, 2009 වර්ෂයේ සිට මේ දක්වා මුහුදේ සිදුකළ නිරීක්ෂණ රාජකාරීන් රාශියකට ද සිය දායකත්වය සපයා ඇත.