උතුරු මැද නාවික විධානය ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියේ තවත් එක් අංගයක් වශයෙන් උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත, මන්නාරම ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන්  2015 අගෝස්තු මස 30 වන දින තලෙයිමන්නාරම රජයේ දමිළ මිශ්‍ර පාසලේදී ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වන ලදී.

මෙම සෞඛ්‍ය සායනය සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලුතිනන් කොමාණ්ඩර් ආර්එම්එස්කේ රාජපක්ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ඩීඑල්පීපී බාලසූරිය, කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි වෛද්‍ය යූකේඑම්ඩී පෙරේරා සහ තවත් නාවික සහ සිවිල් වෛද්‍යවරුන් සය දෙනෙකු සහභාගී වූ අතර, මෙම සෞඛ්‍ය සායනය මගින් ප්‍රදේශයේ සිවිල් වැසියන් 600කට ආසන්න ප්‍රමාණයක් සඳහා ප්‍රථිකාර ලබා දීමට හැකි විය. එමෙන්ම ඇස් පෙනීමේ දුර්වලතාවයෙන් පෙළෙන තවත් රෝගීන් සිය දෙනෙකුට ‍නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමක් ද එහිදී  සිදු කෙරිණි.